Reshali Balasubramaniam
March 5, 2019
Behavioural Psychology-Creativity-Decision Making No Comments

කුඩා ව්‍යාපාර ව්‍යවසායකයින් වැළකී සිටිය යුතු කරුණු….

සාර්ථක ව්‍යාපාරික ජීවිතයකට උරුමකම් කීම අප හිතන තරම් ලෙහෙසි පහසු නොවන කටයුත්තකි. තරගකාරී ජීවන රටාව තුළ හමුවන බාධක අභියෝග නිවැරදිව හඳුනා ගැනීමටත් ඒවාට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි වන්නේ ප්‍රධාන වශයෙන් ම ධනාත්මක චිත්ත ශක්තියක් මෙන්ම ව්‍යාපාරික භූමිකාව පිළිබඳ නිවැරදි අවබෝධයක් අප තුළ ඇති කර ගතහොත් පමණයි.
එහෙත් අද සමාජය තුළ නව ව්‍යවසායකයන් ලෙස බිහිවන බොහෝ අය අතරින් සාර්ථක ව්‍යවසායකයෙකු වශයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ රැදී සිටින්නේ ඉතාමත් සුළු පිරිසකි. එම අසමත් වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව නව ව්‍යවසායකයින් අතින් සිදුවන වැරදි අඩුපාඩු මඟහරවා ගැනීමට අවැසි නිවැරදි අවබෝධය ඔවුන් සතු නොවීමයි.
එසේනම් නව ව්‍යාපාරයක් ආරම්භ කරන විට දී සෑම ව්‍යාපාරිකයකු විසින්ම පොදුවේ සිදු කරන වැරදි අඩුපාඩු මඟහරවා ගැනීම පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි අද අප සූදානම.

1. ව්‍යාපාර සැලැස්මක් නොතිබීම.
2.
අඩු සම්පත් සහිත අක්‍රමවත් මූල්‍ය සැලසුම්කරණය
3.
ඉක්මන් තීරණ ගැනීමට පෙළඹීම
4.
බාහිර උපකාර ලබා ගැනීමෙන් වැළැකීම.
5.
අන්තර් ජාල අලෙවිකරණය හා නව තාක්ෂණය භාවිත නොකිරීම.
6.
නිසි පරීක්ෂාවකින් තොරව ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
7.
සේවකයින් ඉක්මනින් බඳවා ගැනීම.

1. ව්‍යාපාර සැලැස්මක් නොතිබීම.
බොහෝ නව ව්‍යවසායකයින් ව්‍යාපාර සැලැස්මකින් තොරව ව්‍යාපාරයක් ආරම්භ කිරීම ව්‍යාපාරයේ අසාර්ථකත්වයට ඇති ප්‍රධාන හේතුවකි. එවැනි සැලැස්මක් ලේඛනයක් ලෙස දිගු සවිස්තරාත්මක විය යුතු නැත. එහෙත් ව්‍යාපාර සැලැස්මක් සැකසීමට කාලය ගත කිරීමෙන් ඔබ සකසන ලද ව්‍යාපාර සැලැස්ම ඔබේ ව්‍යාපාර ප්‍රයත්නයන් ස්ථාවර පවත්වා ගැනීමටත් ඔබගේ කණ්ඩායමෙහි වර්ධනයට ඉතාම උපකාරී වේ.

2. අඩු සම්පත් සහිත අක්‍රමවත් මූල්‍ය සැලසුම්කරණය
ව්‍යාපාරික ඉලක්කය කරා ළඟා වීමට හා අරමුණු සාක්ෂාත් කර ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් තිබීම අනිවාර්යය වේ. එමෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රාග්ධනයක් තමන් සතුව තිබීමත් ඒවා රැස් කිරීමට ක්‍රමවත් සැලසුම්කරණයක් නිර්මාණය කිරීමත් ඔබේ ඉදිරි ආයෝජනයන් සඳහා ඉතාම වැදගත් වනු ඇත.
එසේ නොමැතිව අඩු සම්පත් සහිත අක්‍රමවත් මූල්‍ය සැලසුම්කරණයකින් ව්‍යාපාරයක් පවත්වා ගැනීම සිදුකළ නොහැකි බව මතක තබා ගන්න.

3. ඉක්මන් තීරණ ගැනීමට පෙළඹීම
බොහෝ ව්‍යාපාරකයින් විසින් කරන වැරදි ක්‍රියාවක් වනුයේ ඉක්මන් තීරණ ගැනීමට පෙලඹීමයි. දත්තයන් නිසි ලෙස සොයා නොබලා ක්ෂණික තීරණ ගැනීම ව්‍යපාරික සාර්ථකත්වයට හානිකර විය හැකි බැවින් එවැනි ක්‍රියාවන් සිදු නොකිරීමට වගබලා ගැනීම ඔබ සතු වේ.

4. බාහිර උපකාර ලබා ගැනීමෙන් වැළැකීම.
බොහෝ නව ව්යවසායකයින් උදව් අවශ්‍ය යැයි පිළිගැනීමට අකමැතිය. උපදේශකයකු සොයා ගැනීම, බාහිර උපදේශකයෙකු බඳවා ගැනීම හා අදහස් ලබා ගැනීම සඳහා උපදේශක මණ්ඩලයක් බිහිකිරීම ගැන කිසිදු විටෙක ලැජ්ජා නොවන්න. යම් තීරණාත්මක අවස්ථාවන්හිදී අන් අයගේ උපකාර හා උපදෙස් ඔබට අත්‍යවශ්‍ය වන බව මතක තබා ගන්න.

5. අන්තර් ජාල අලෙවිකරණය නව තාක්ෂණය භාවිතා නොකිරීම.
නූතන සමාජයේ නව තාක්ෂණය භාවිතයෙන් අන්තර්ජාලය හරහා සිදු කරන නව අලෙවිකරණ ක්‍රම ගැන සලකා බැලීම ඉතා ම වැදගත් වේ. උදාහරණ වශයෙන් facebook, instagram, twitter වැනි සමාජ මාධ්‍ය මත විශේෂිත වෙළඳපල භාණ්ඩ ඉලක්ක කර සිදු කරන දැන්වීම් ඔබේ අලෙවිකරණයට පහසු මාර්ග සපයයි. එමෙන්ම කාලීනව තම කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීමට හැකිවන පරිදි නිවැරදිව මෙවලම් හා උපකරණ භාවිතය, උසස් තත්ත්වයේ නවීන වැඩසටහන් පැවැත්වීම ඔබට ඔබේ ශ්‍රම බලකායටත් ඔබේ සමාගමේ වර්ධනයටත් හේතු වන වන ආකාරයේ විශාල වෙනසක් සිදු කරයි. මෙසේ නිවැරදි උපකරණ තෝරාගැනීමෙන් වියදම් අධික වීම අවම කරගැනීමටත් ව්‍යාපාර මාර්ග වැඩිදියුණු කිරීමටත් උපකාරී වේ.

6. කිසිදු පරීක්ෂාවකින් තොරව ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
ව්‍යාපාරයක් ආරම්භයේ දී ව්‍යාපාරයේ අලෙවිකරණය, ප්‍රමිතියෙන්, භාණ්ඩ හා සේවාවන්, ගනුදෙනුකරුවන් යන කරුණු සියල්ලක්ම පිළිබඳ පරීක්ෂාවකින් යුතුව ආරම්භ කිරීම වැදගත්ය.එම දත්ත නිවැරදි ව සටහන් කිරීමත් ගබඩා කර තැබීමත් අත්‍යවශ්‍ය වේ. ඒසේ කිරීමට අසමත් වුවහොත් ව්‍යාපාරය ඕනෑම අවස්ථාවක කඩා වැටීමට ලක්විය හැකිය.
එසේනම් ඔබේ ව්‍යාපාරයේ සෑම අංශයක්ම ආරම්භයේ සිටම පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර එම ප්‍රතිඵලවලින් සිදු කරන අත්හදා බැලීම සහ ඉගෙනීම ඔබ නිවැරදි මාවතෙහි සිටිනවාදැයි දැන ගැනීමට ඔබට උපකාර වේ.

7. සේවකයින් බඳවා ගැනීමට ඉක්මන්වීම.
ආරම්භයේ දී සිදු කරන ලොකුම අත්වැරැද්ද නම් සේවකයින් බඳවා ගැනීම ඉතා ඉක්මනින් සිදු කිරීමයි. ව්‍යාපාරික ස්ථාවරත්වයක් නොමැති ව සේවකයන් බඳවා ගැනීම තුළින් ව්‍යාපාරය යම් අවදානමකට ලක් කරන අතර සේවකයින් ගේ දෝෂ දර්ශනයට ද ලක්වනු ඇත. එවැනි ගැටලු රැසකට මුහුණදිය හැකි මෙවැනි ක්‍රියාවන් සිදුනොකිරීමට වගබලා ගැනීම ඉතාම වැදගත්.

තිරසාර ව්‍යාපාර සංවර්ධනය සඳහා උපකාර වන මෙම උපාය මාර්ග කෙරෙහි යොමු විම අත්‍යවශ්‍ය වන බව දැන් ඔබට අවබෝධ වන්නට ඇත.

සාරාංශය
ඔබ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන විට, ආරම්භයේ දී සිදු වන වැරදි නිවැරදි කර ගැනීම වැදගත් ය. මේ සඳහා ඔබ අනුගමනය කරන ක්‍රමවේදයන් හා ඔබේ කළමණාකාරිත්වයත් ඔබේ සාර්ථකත්වයේ මඟ පෙන්වීම සඳහා භාවිතා කරන්න.

සැකසුම – බිනාලි රාජපක්ෂ